සයුරෙන් එතෙර
ට්‍රම්ප් ගාසා තීරය ඉල්ලයි
February 5, 2025 11:45 am
අමෙරිකාව ගාසා තීරය පවරාගෙන එහි සිටින පලස්තීන වැසියන් සාමකාමී සහ සංවර්ධිත රටවල පදිංචි කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අමෙරිකාව, ගාසා තීරය පවරාගෙන එය සංවර්ධනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ, ධවල මන්දිරයේ සංචාරයක නිරත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සමඟ මාධ්‍ය හමුවේ පෙනී සිටිමිනි.
"අමෙරිකාව ගාසා තීරයේ පාලනය භාරගන්නවා. අපි ඊට අදාළ දේත් කරනවා. අපි වැනසුණු ගොඩනැගිලි විනාශ කරලා, භූමිය සමතලා කරනවා. එය දිගුකාලීන හිමිකාරිත්වයක් වෙන්න පුළුවන්. මේක සරලව ගත්ත තීන්දුවක් නෙමෙයි. මම මේ ගැන මැදපෙරදිග කලාපීය අනෙක් රටවල නායකයින් සමඟත් සාකච්ඡා කළා. ඔවුන් මේ අදහසට ගොඩක් කැමතියි." යනුවෙන් ට්‍රම්ප් පවසා තිබේ.
බොහෝදුරට අමෙරිකානු සෙබළුන් යොදවා එය අත්පත් කරගැනීම සිදුවනු ඇති බවත්, එහි සිටින පලස්තීන ජනතාව වෙනත් ස්ථාන කරා යොමුවිය යුතු බවත් එහිදී ට්‍රම්ප් පවසා තිබුණි.
"ගාසා තීරය, මරණයේ සංඛේතයක් බඳුයි. ආසන්නයේ සිටින පිරිසට පවා ඉන් සිදුවන්නේ අයහපතක්. ඒ වෙනුවට අපි වෙනත් රටවලට ගිහින්, මිලියන 1.8ක් වන ගාසා වැසියන්ට ජීවත්වෙන්න සුදුසු වාසස්ථාන ගොඩනගනවා. මම ඊශ්‍රායලයට ආදරෙයි, මම එහි සංචාරය කරනවා. මම ගාසා තීරයෙත් සංචාරය කරනවා." යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර ඇත.