වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

February 5, 2025   06:39 am

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) දහවල් කාලයේ මට්ටක්කුලිය, කඳිරානවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. 

මෙම සැකකරු  2022.11.19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම, 2023.01.18 වන දින කොටහේන පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධවල වෙඩික්කරු වශයෙන් ක්‍රියා කළ සැකකරු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවලදී වෙඩිතබා පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධින් තුනක් සඳහා ආධාර අනුබල දුන්  පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අත්තිඩිය වැව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 30 වනදාය.

පොලීසිය පැවසුවේ අදාළ සැකකරු පසුගිය 30 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සමඟ අත්අඩගුවට ගෙන රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොහු අදාළ ඝාතන සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කළ යතුරු පැදිය පැදවූ පැදිකරු බවට අනාවරණය වී ඇති බවයි.

මෙම සැකකරු දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජවාරම් කරුවෙකුගේ මෙහෙයවීම මත එම අපරාධ සිදුකර ඇති බවට අනවාරණය වී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.