මහින්දගේ නිල නිවස රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් කිරීම ගැන කණගාටු වෙනවා - දිලිත්
February 3, 2025 08:55 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කරනුයේ ජනතා විමුක්ති පෙරමුණේ යුද ජයග්‍රහණ විරෝධී සටන් පාඨය අනුව නම් සර්වජන බලය ඊට විරුද්ධ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ව්‍යවසායක රුෂාන් මලින්ද මහතා සහ එම පක්ෂයේ සියලු සාමාජිකයින් සර්වජන බලය සමඟ ද එක්විය.
ඒ අනුව, සර්වජන බලයේ උප ලේකම් ධුරය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් නායකත්වය ව්‍යවසායක රුෂාන් මලින්ද මහතා වෙත ලබාදුන් අතර මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවල ආසන සඳහා සංවිධායකයින් පත්කිරීමද මෙහිදී සිදුවිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,
"මහින්ද මහත්මයාගේ නිල නිවස නැති කිරීම කියන එක තමන්ගේ ප්‍රධාන මාතෘකාව අනුර කුමාර අපේ ජනාධිපති සහෝදරයා ගැන එන්න එන්නම කණගාටුව වැඩිවෙනවා. මෙය උපක්‍රමයක් හැටියටත් ජනතා ප්‍රශ්න අමතක කරන්න නිවැරදි මාර්ගය නෙමෙයි. මමත් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නවා විශාල මුදලක් වැය කරලා තියෙනවා ඉතා දුශ්කර කාලයක් තුළ මේ ගොඩනැගිල්ල පිළිසකර කිරීම සඳහා. මම හිතනවා එය දේශපාලනයේ තිබුණු අපි අකමැති කොටසක්.
හැබැයි අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම පවත්වාගෙන ආපු යුද ජයග්‍රහණ විරෝධී සටන් පාඨය දිගටම ගෙන යාමක්. යාපනයේ ගිහිල්ලා වැඩි වේගයෙන් ඒක පවසන්නෙත් ඒ අර්ථයෙන් මිසක් වෙන අර්ථයකින් නෙමෙයි. 2008දී යුද ජයග්‍රහණය පේන තෙක් මානයක තිබියදී අයවැය පරාජය කරන්න ඔවුන් උත්සුක වුණු දවසේ ඉඳලාම අද දක්වා ඔවුන් කටයුතු කරලා තියෙන්නේ මාතෘ භූමියේ ඒකීය භාවය රැකගැනීම සඳහා මහින්ද රාජපක්ෂ නම් ඒ යුගපුරුෂයන් දෙනු ලැබූ ඒ දේශපාලන නායකත්වයට ගරහන්න නම් ඒ සඳහා මේ මන්දිර කතන්දරය භාවිත කරන්න ඉඩ දෙන්න බැරි බවයි සර්වජන බලයේ මතය."