කෑමට නුසුදුසු සහල් දින වෙනස් කර යළි අලෙවිකරන ජාවාරමක්

කෑමට නුසුදුසු සහල් දින වෙනස් කර යළි අලෙවිකරන ජාවාරමක්

February 3, 2025   08:50 pm

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල්, කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් නැවත ජනතාවට අලෙවිකරන කූඨ ජාවාරමක් පිළිබඳව "අද දෙරණ උකුස්සාට" මාවනැල්ලෙන් තොරතුරු වාර්තා වුණි.

රට තුළ නිර්මානය වූ තත්ත්වය හමුවේ අසාධාරණ ලෙස මඩිය තර කරගැනීමට වැර දරන ජාවාරම් කරුවන් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය කාලයේ අනාවරණ කළේය.

මේ ආකාරයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද කල් ඉකුත් වූ සහල් ඒවායේ කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් නැවත ජනතාවට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රහසිගත තොරතුරක් ලැබී තිබු අතර අද දෙරණ උකුස්සා එම නිලධාරින් සමඟ අදාළ ස්ථානයට ගියේ ඒ ගැන තොරතුරු අනාවරණ කිරීම සඳහාය.

අප එම ස්ථානයට ළඟාවන විටත්  පිරිසක් ලොරි රථයක් තුළ තිබූ සහල් තොග ගබඩාවට ගොඩබාමින් සිටි අයුරුද දැක ගන්නට ලැබුණි.

එම සහල් මිටි පරීක්ෂාවේදී බලධාරීන්ට අදාළ තොරතුර සැකහැර තහවුරු කරගැනීමට හැකිවුණි.

එනම් එම සහල් 2021 වසරේ නිෂ්පාදනය කර, 2023 වසරේ කල් ඉකුත් වි තිබුණි.

අනතුරුව එම ගබඩාවට බලධාරීන් සමඟ ඇතුළු වූ උකුස්සාට දැකගත හැකිවූයේ ඉන්දියාවෙන් ආනයනය කළ තවත් කල් ඉකුත් වූ සහල් මිටි විශාල ප්‍රමාණයක් එහි ඇති බවයි.

මෙම සහල් තොගයේ ගුල්ලන්ද සිටි අයුරු දැක ගත හැකිවුණි.

තවත් සහල් මිටි තොගයක් වැඩිදුර පරීක්ෂාවේදී තහවුරු වූයේ එම සහල් ද කල් ඉකුත් වී ඇති අතර ඒවායේ කල් ඉකුත්වීමේ දින කූඨ ලෙස වෙනස් කර ඇති බවයි.

එම සහල් ඉන්දියාවෙන් ආනයනය කළද මෙරට තුළ නිෂ්පාදනය කළ කීරි සම්බා ලෙස වෙළෙඳපොළට නිකුත් කරන බව අනාවරණ වුණි.

අදාළ සහල් තොග නිලධාරින් භාරයට ගැනීමට යෑමේදී එහි ගබඩා හිමිකරුගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

දීර්ඝ ප්‍රශ්න කිරීම් මාලාවකින් අනතුරුව මිනිස් පරිභෝජනය නුසුදුසු ගුල්ලන් ගැසූ සහල් මෙට්‍රික් ටොන් 15ක ප්‍රමාණයක් අදාළ නිලධාරින්  සිය භාරයට ගත් අතර සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කළේය.

මෙලෙස බොර දියේ මාළු බාමින් සිය මඩිය තරකරගන්නා කූට ජාවාරම්කරුවන් පිළිබඳ ද "දෙරණ උකුස්සා" සීරුවෙන්.