අනුර යාපාට ඇප

අනුර යාපාට ඇප

January 23, 2025   02:01 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට වාර්තා කළ යුතු බවට ද නියෝග කර තිබේ.

ඊට අමතරව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අධිකරණය, ඔවුන්ගේ විදේශ ගමන්බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර සිටියේය.

ඒ අනුව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර තිබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස්. අමරසේකර සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළ අනුර සෙනෙවිරත්න යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැර තිබේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා, සැමදා ක්‍රියාත්මක වන්නේ එකම නීතිය බවත් කාලය අනුව නීතිපතිවරයාගේ කාර්යභාරය වෙනස් නොවන බවත් සඳහන් කළේය.