උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් - ජනපති
January 22, 2025 03:16 pm
නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදුකර තිබෙන බවත් එනයින් බෞද්ධ සම්ප්රදාය අනාගත පරම්පරාවට සුරක්ෂිතව ලබාදීම සියලුදෙනාගේම වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් බවත්, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කරගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජුනි 30 වන දා සිට ජූලි 05 වන දා අතර විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය.
සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දෙවසරකට වරක් සිදුකරනු ලබන උපසම්පදා විනය කර්මය ගරු කටයුත්තක් ලෙස රජය සලකන බැවින්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොපිරිහෙලා ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබේ.