යුද හමුදා වෛද්‍ය කඳවුර
January 21, 2025 12:35 pm
යුද හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් විවිධ හේතුන් මත අත්පා අහිමි වූ විශ්‍රාමික යුද හමුදා සාමාජිකයන් සහ ක්‍රියාකාරී සේවයේ නියුතු සාමාජිකයින්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් වෛද්‍ය කඳවුරක් පවත්වා තිබේ.
යුද හමුදාධිපතිවරයාගේ මඟපෙන්වීම මත බස්නාහිර පළාතේ වෙසෙන විශ්‍රාමික සහ සේවයේ නියුතු සාමාජිකයින් මේ සඳහා සහභාගී වී ඇත.
එම කඳවුර ඊයේ සිට (20) දින සිට 24 වන දින දක්වා රාගම රණවිරු සෙවණ පුනරුත්තාපන රෝහල් පරිශ්‍රයේ දී, රාගම පුනරුත්තාපන රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රණක්ෂිතයට පත් යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් පැවැත්විය.
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය වෙතින් අධික්ෂණය කරනු ලබන මෙම වෛද්‍ය කඳවුර තුළින් අඛණ්ඩව පවතින වෛද්‍ය ගැටලු තක්සේරු කිරීම හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශන ලබාදිම, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ සඳහා පරීක්ෂණ සිදුකිරීම, දන්ත වෛද්‍ය සේවාවන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර, මානසික සෞඛ්‍ය සඳහා උපදේශන සේවාවන් හා පෝෂණ විශේෂඥයින් විසින් ආහාර ලබාගැනීම සඳහා වන උපදෙස් ලබාදීමට ද කටයුතු සූදානම් කර ඇත.