දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයෙක් මරුට - අයෙකුට බරපතළයි
January 21, 2025 06:32 am
දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
එම සිදුවීම ඊයේ (20) රාත්රී කාලයේදී වාර්තා වී තිබුණේ කඳාන පොලිස් වසමේ නාගොඩ ප්රදේශයේදීය.
එලෙස මියගොස් ඇත්තේ, කඳාන, නාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාලකරු වයස අවුරුදු 29ක් වූ කඳාන, නාගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා තුවාලකරු දෙපාර්ශවයේ පුද්ගලයන් බවත්, පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර සිදුවූ පිහි ඇනුම්වලින් මෙසේ එක් පුද්ගලයෙකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.