හිටපු සුරා බදු කොමසාරිස්ට එරෙහි පෙත්සමට කරුණු තහවුරු කිරීමට දින දෙයි

හිටපු සුරා බදු කොමසාරිස්ට එරෙහි පෙත්සමට කරුණු තහවුරු කිරීමට දින දෙයි

January 20, 2025   03:19 pm

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (20) එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති බැවින් අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පසුගිය රජය සමයේ අලුතින් සුරා බදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී අලුතෙන් සුරාබදු බලපත්‍ර හතරක් නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.  ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.