පළාත් මට්ටමෙන් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජයෙන් සැලැස්මක්?

පළාත් මට්ටමෙන් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජයෙන් සැලැස්මක්?

January 13, 2025   09:03 pm

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අපරාධ මැඩපැවැත්වීම හා විමර්ශන විධිමත් කිරීම මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී තිබේ.

එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මේ වන විටත් බස්නාහිර හා දකුණු පළාත් සඳහා අපරාධ කොට්ඨාස ස්ථාපිත කර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවිමෙන් පසු සෙසු සියලු පළාත් සඳහා ද එම කොට්ඨාස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.