අමාත්‍යංශයේ නම භාවිත කර ක්‍රියාත්මක වූ ව්‍යාජ රැකියා ජාවාරමක් සම්බන්ධව විශේෂ නිවේදනයක්
January 10, 2025 03:09 pm
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් සම්බන්ධව එම අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම දැන්වීමට අනුව රජය විසින් අනුමත කරන ලද අර්ධ කාල වැඩ යනුවෙන් දක්වා ඇති මෙම දැන්වීම මගින් දෛනිකව රුපියල් පන්දහසක ආදායමක් උපයාගත හැකි බව දක්වා තිබේ.
ඊට අමතරව මාර්ගගතව සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් දෛනික වැටුප් ගෙවන බවත් එම දැන්වීමේ සඳහන් ව තිබුණි.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සිය නිවේදනය මගින් දක්වා ඇත්තේ අමාත්‍යාංශය සහ එහි පාඨය භාවිත කරමින් සහ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බවය.
එමෙන්ම අමාත්‍යාංශය විසින් එවැනි කිසිදු ආකාරයේ දැන්වීමක් පළ කර නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම නව රජයේ අමාත්‍යංශ විෂය පථයන්ට අනුව විදේශ රැකියා විෂය පථය කම්කරු අමාත්‍යාංශයට අයත් නොවන බවත් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙම අසත්‍ය සහ සාවද්‍ය දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර මෙම ව්‍යාජ සහ අසත්‍ය දැන්වීමට අදාළව පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් කම්කරු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.