කොටස් වෙළෙඳපොළේ ආයෝජනයෙන් EPF අරමුදලට නොසිතු ලාභයක්
January 10, 2025 03:01 pm
සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන දිනට රුපියල් බිලියන 109.69ක් බව එම අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ය.
එදිනට අරමුදල විසින් කොටස් වෙළෙඳපොළ තුළ කර ඇති ආයෝජනයන්හි මුළු ගැනුම් පිරිවැය රු. බිලියන 88.67ක් ලෙස වන අතර, සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනයෙන් අත්පත් කරගෙන ඇති සමස්ත ලාභය රු. බිලියන 21.01කි.
2024 ජුනි 30වන දින සේවක අර්ථසාධක අරමුදල කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම සටහන්ව තිබුණේ රු. බිලියන 110.03ක් ලෙසයි.
මේ වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 66ක් වේ.
2024 ජුනි 30 වන දිනට එම සංඛ්‍යාව 67ක් වූ අතර ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී සොෆ්ට් ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ සිදුකර තිබූ ආයෝජනවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට අරමුදල පියවර ගෙන තිබේ.