දඹුල්ලේ දී කුලී රථ රියදුරුට පහරදුන් කල්ලිය කොටු

දඹුල්ලේ දී කුලී රථ රියදුරුට පහරදුන් කල්ලිය කොටු

January 7, 2025   10:32 am

දඹුල්ල නගරයේ දී කුලී රථ රියදුරෙකුට පහර දී මුදල් හා දේපොළ කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනවාරි මස 5 වන දින මෙම සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 41ත් 55ත් අතර වයස්වල පසුවන දඹුල්ල පොලීසියේම පදිංචිකරුවන්ය.

පුද්ගලික කුලී රථ සේවා සපයන ආයතනයකින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාදුන් ගමන් වාරයක් අනුව, කටුනායක ගුවන්තොටුපොළ වෙත විදේශිකයෙකු රැගෙන යෑම සඳහා මෙම රියදුරු දඹුල්ල නගරය වෙත පැමිණ තිබුණි.

එහිදී විදේශිකයා මෝටර් රථයට නංවා ගැනීමෙන් පසු දඹුල්ල නගරයෙන් විදේශිකයින්ව හයර් ලෙස ලබානොගන්නා ලෙසට සැකකරුවන් විසින් එම රියදුරුට තර්ජනය කරමින් පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 87,000ක මුදලක් හා රුපියල් 15,000ක් වටිනා උපැස් යුවළ කොල්ලකා ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.