තිසර නානායක්කාර යළි රිමන්ඩ්

තිසර නානායක්කාර යළි රිමන්ඩ්

January 6, 2025   11:14 am

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර රට රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 06කට වැඩි මුදලක් වංචා කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට අද (06) ප්‍රකාශ කළේය.

සැකකරු ජනවාරි 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විසින් නියෝග කරනු ලැබීය.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරු තිසර ඉරෝෂණ නානායක්කාර ඉකුත් දෙසැම්බර් 28 වනදා අත්අඩංගුවට ගැණුනි.

බිබිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැණුනේ යක්කල පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුවයි.

පසුව සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

නඩුව ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවූවද සැකකාර තිසර නානායක්කාර ඊට ඉදිරිපත් කෙරුණේ නොමැත.

ඒ ඔහු වෙනත් නඩුවකට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් තිබූ බැවිනි.

නමුත් සැකකරු සම්බන්ධ විමර්ශන වාර්තාවක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළේය. 

"ස්වාමිනි, මෙම සැකකරුට එරෙහිව ප්‍රකාශ ලිවිය නොහැකි මට්ටමින් දිනපතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙමින් පවතිනවා. දැනට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 37ක්. ෆින්ලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඊශ්‍රායලය ආදී රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකට රැකියා සඳහා යවන මුවාවෙන් තමයි මේ මුදල් වංචාවන් සිදුවෙලා තියෙන්නේ. ඒ පැමිණිලි ගැන අධ්‍යනයයේදී දැනට සිදුවී ඇති වංචාව රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂයකට වැඩියි. මෙම වංචාවට වැඩියෙන්ම ලක්වී ඇත්තේ රාජ්‍ය නිලධාරින්.සැකකරුට එරෙහිව ඉදිරි විමර්ශන සිදුකරන බැවින් මෙම අවස්ථාවේ සැකකරුට ඇප ලබාදීමට අප විරෝධය පළ කරනවා."

සැකකාර තිසර නානායක්කාර වෙනුවෙන් පෙනීසිටින නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා සඳහන් කළේ පැමිණිලිකරුවන්ගේ මුදල් සිය සේවාදායකයා ලබාගත් බව සත්‍යයක් වුවද, එම මුදල් ඩුබායි රාජ්‍යයේ සිටින කාන්තාවකට යවා ඇති බවය.

පොරොන්දු වූ පරිදි රැකියා අවස්ථා ලබාදීමට නොහැකි වුවද, එම මුදල් තම සේවාදායකයා සතුව නොමැති බව නීතිඥවරයා පැවසීය.

ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය සැකකරු එළැඹෙන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.