මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට

මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට

January 5, 2025   11:51 am

ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 05කින් තරුණයෙක් සහ කාන්තාවක් ඇතුළු පස්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (04) එම අනතුරු සිදුව තිබුණේ ඇඹිලිපිටිය, ආනමඩුව, පොතුහැර, කටුවන සහ නිට්ටඹුව යන පොලිස්වසම්වලය.

රත්නපුරය - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේදී උඩවලව දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුමේ නවතා මගීන් රැගෙන එම නැවතුමෙන් යළි ධාවනය කිරීමේදී එහි සිටි මගී කාන්තාවක් බස් රථයේ පිටුපස රෝදයට හසු වීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මගී කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ආනමඩුව, ආඩිගම - කිරියන්කල්ලිය මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී ආඩිගම දෙස සිට කිරියන්කල්ලිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පදික පුද්ගලයා ආනමඩුව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් ඇති බව සඳහන් වෙයි.

මේ අතර පොතුහැර පොලිස් වසමේ දම්බොක්ක රඹුක්කන මාර්ගයේ තෝරවතුර ප්‍රදේශයේදී ද මාරක අනතුරක් සිදුව තිබේ.

දම්බොක්ක දෙස සිට රඹුක්කන දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරු පැදිය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ.

කටුවන පොලිස් වසමේ කටුවන ඌරු බොක්ක මාර්ගයේ රුක්මල් පිටිය ප්‍රදේශයේදී බෙංගමුකන්ද දෙස සිට කටුවන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එහි පැමිණි මගින් බස් නැවතුමේ බස්සවා බස් රථය ධාවනය කරන අවස්ථාවේ මගියෙකු බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට යාමේදී එම බස් රථයට යටවීමෙන් ද මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මගී පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම නිට්ටඹුව පොලිස් වසමේ සපුගස් තැන්න හංදියේදී වේයන්ගොඩ දෙස සිට හුඹුටියාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යාමෙන්ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.