මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්

January 3, 2025   05:14 pm

මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි.

ඔහු පැවසුවේ ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

මෙම අවස්ථාව සඳහා වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී විය. 

එහිදී ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

මෙහිදී ආයතනයේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරුන් දෙපළ ආයතන තුළ මේ වනවිටත් ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදයන් වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ නවීන ක්‍රමවේදයන් යොදා ගනිමින් ආයතනය වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ලබා දෙන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.