බන්ධනාගාර නිලධාරීන්ට දැඩි අවවාද
January 3, 2025 01:21 pm
යකඩ දම්වැලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත්වලට දමා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (2) තරයේ අවවාද කර තිබේ.
සිරකරුවෝද මනුෂ්‍යයෝ යන වදන සිහිපත් කරමින් මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ, ඔවුන්ට සතුන් ලෙස නොසැළකිය යුතු බවයි.
අධිකරණ නිවාඩු සමය බැවින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අධිකරණ ශාලා නවයක ඇති සියලු නඩු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අංක 03 අධිකරණයේදී ඊයේ (2) කැඳවා තිබුණි.
එහිදී එම නඩුවලට අදාළ රිමාන්ඩ් භාරයට පත්කර සිටින සැකකරුවන් 40ක පමණ පිරිසක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය ශාලාවට රැගෙනවිත් තිබුණේ යකඩ දම්වැලක සවිකළ මාංචු ආධාරයෙන්.
අංක 03 අධිකරණයේ රැඳවියන් රඳවා තබන සිරමැදිරිය තුළ සැකකරුවන් 20කට වැඩි පිරිසක් රඳවා තැබීමට නොහැකි හෙයින් එක දම්වැලක සවිකළ මාංචු සැකකරුවන්ගේ දෑත්වලට දමා සැකකරුවන් 40ක් පමණ විවෘත අධිකරණය තුළම රඳවා තැබීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත.
එය නිරීක්ෂණ වූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට තරයේ අවවාද කර තිබුණේ ' සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන වදන සිහිපත් කරමින්.
සිරකරුවන්ට සතුන්ට මෙන් නොසළකන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා එහිදී අවධාරණය කර තිබේ.
මාංචු දැමූ සිරකරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමේ බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා නිලධාරීන් පවසා ඇත්තේ, සිරකරුවන්ට ද මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බවයි.
එබැවින් මින් ඉදිරියට විලංගු දැමූ කිසිඳු සැකකරුවෙකු තම අධිකරණයට ඉදිරිපත් නොකිරීමට වගබලා ගන්නා ලෙසත් අධිකරණ සිරමැදිරිය තුළ නිසි ක්‍රමවේදයන්ට අනුව සැකකරුවන් රඳවා තබන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට අවවාද කර තිබේ.
අධිකරණ වාර්තාකරු පැවසුවේ, මාංචු සහිත සැකකරුවන් අධිකරණ ශාලාවේ රැඳවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයැද සිටි බන්ධනාගාර නිලධාරීන් සියලු සැකකරුවන්ගේ මාංචු ඉවත්කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබුණු බවයි.