2025 සිට 2024 ගිය කාලතරණ ගමන
January 1, 2025 09:40 pm
2025 වසරේ ගමන් අරඹා, 2024 වසරට ගමන් කළ ගුවන් ගමනක් ගැන පුවතක් බොහෝ දෙනාගේ වැඩි අවධානයට ලක්වී තිබුණි.
2025 වසර ආරම්භයෙන් අනතුරුව හොංකොං සිට ගමන් ආරම්භ කළ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත ළඟා වන විටත් නව වසර උදාවී තිබුණේ නැත.
ඒ අනුව මේ ගුවන් ගමන බොහෝ දෙනා හැඳින්වූයේ අනාගතයේ සිට පැමිණි කාලතරණ ගමනක් ලෙසිනි.
තම ගුවන් ගමන අතරතුර ජාත්‍යන්තර දින රේඛාව (IDL) තරණය කිරීම හේතුවෙන් මෙලෙස මෙම ගුවන් යානයේ සිටි මගීන් හට දෙවතාවක් අලුත් අවුරුදු උදාව සැමරීමට අවස්ථාව හිමිව ඇත.
ජාත්‍යන්තර දින රේඛාව (IDL) යනු පැසිෆික් සාගරය හරහා නිර්මාණය වී ඇති මනඃකල්පිත රේඛාවක් වන අතර එය අඛණ්ඩ දින දර්ශන දින දෙකක් සලකුණු කරයි.
එනම් ජාත්‍යන්තර දින රේඛාව හරහා නැගෙනහිරින් දෙසට ගමන් කරන ඕනෑම කෙනෙකු කාලය හරහා එක් දිනක් ආපස්සට ගමන් කරන අතර බටහිරට දෙසට ගමන් කරන ඕනෑම කෙනෙකු කාලය හරහා එක් දිනක් ඉදිරියට ගමන් කරයි.
එබැවින් මෙම ගුවන් මගීන් 2025 ජනවාරි පළමු වන දින හිමිදිරියේ හොංකොං නුවරින් පිටත්ව 2025 ජනවාරි පළමු වන දින උදාවට ප්‍රථමයෙන් එනම් 2024 දෙසැම්බර් 31 වනදා අවසන් භාගයේ යලිත් ලොස් ඇන්ජලීස් වෙත පැමිණ තිබුණි.