සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කොරියාවෙන් රුපියල් බිලියන 2.4ක ආධාරයක්

සීගිරියේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කොරියාවෙන් රුපියල් බිලියන 2.4ක ආධාරයක්

December 29, 2024   11:30 am

ලෝක උරුමයක් වන සීගිරියේ සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂණය මත යෝජිත මෙමගින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශපත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම ඇතුළු යෝජනා රැසකින් යුක්ත වේ.‍

මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4කි.

මේ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ද යෝජනා වී තිබේ.

මීට අදාළ සාකච්ඡාවක් පසුගිය 27 වැනි දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානාත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වුණි.

මේ සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය නියෝජනය කරමින් එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම්, නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම්, අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු,  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව තිබේ.