ජීවිත බිලිගත් මාරක අනතුරු
December 22, 2024 07:43 am
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (21) එම අනතුරු සිදුව තිබුණේ මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදුව යන පොලිස් වසම්වලදීය
පෑලියගොඩ - පුත්තලම මාර්ගයේ මාරවිල නගරයේදී කොළඹ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු මාරවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, දිවුල්වැව, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර කොළඹ - වැල්ලවාය මාර්ගයේ වලවල ප්‍රදේශයේදී ටිපර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.
තවද ගම්පොළ දොළුව මාර්ගයේ දවුලම් මෝදර ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු සහ පදිකයා ගම්පොල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදිකයා මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, නාරංවිල, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.
මැදගම කොස්දෙණිය මාර්ගයේ තුත්තිරිපිටිගම ප්‍රදේශයේදී යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණි පාපැදියක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 43 හැවිරිදි පුදගලයෙක් මියගොස් තිබේ.
මේ අතර මඩකලපුව පොලිස් වසමේ මාමංගම කෝවිල අතුරු මාර්ගයේ කෝවිල අසලදී යතුරු පැදියක් මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, පාසල පාර, මාමංගම් ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.
මේ අතර හයිලෙවල් මාර්ගයේ විජේරාම හන්දිය අසලදී මෝටර් රථයක් මාර්ගය හරහා පදික මාරුව මතින් ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.
මේ අතර කැබිතිගොල්ලෑව - පදවිය මාර්ගයේ උස්ගොල්ලෑව ප්‍රදේශයේදී යතුරු පැදියක් ඉදිරියෙන් ගමන්කළ කැබ් රථයක බඳෙහි ගැටී පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළීමෙන් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, සිනමා ශාලාව අසල, ගල්නෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර රද්දොළුව - උදන්විට මාර්ගයේ අමන්දොළුව ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගය අයිනේ පාපැදියක් තල්ලු කරමින් ගමන්කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා විජය කුමාරතුංග රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, නිවාස යෝජනා ක්‍රමය, රද්දොළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි.
වෑන් රථය අනතුරින් පසු පළාගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා සිදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර ඊයේ හැටන්, කඩුගන්නාව සහ දක්ෂිණ අධිවේගයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 75කි.
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදු වූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එම අනතුරට ලක්ව ඇත.
එම බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණි.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේදී ඊයේ අලුයම 1:15ට පමණ වෑන් රථයක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගොස්ව තිබුණි.
මේ අතර ලංගම බස් රථ අනතුරක් ඊයේ පස්වරු 3ට පමණ කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී සිදුව තිබුණි.
අනතුරට ලක්වූයේ මගීන් 60ක් පමණ රැගෙන කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් පැවති තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයකි.
එම බස් රථය මාර්ගය අසළ තිබූ ගසක වැදී අනතුරට ලක්වූ අතර සිද්ධියෙන් මගීන් 6 දෙනෙකු තුවාල ලැබුවේය.