වනසත්ව ප්‍රශ්නයට අමෙරිකාවත් මැදිහත් වෙයි

වනසත්ව ප්‍රශ්නයට අමෙරිකාවත් මැදිහත් වෙයි

December 18, 2024   08:54 pm

වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය අමෙරිකාවෙන් ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

අමෙරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (18) පැවති විශේෂ හමුවකදී මේ පිළිබඳ දීර්ඝ ලෙසින් සාකච්ඡා පවත්වා ඇත.

මීට අතරව දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළෙඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.  

දෙපාර්ශ්වය අතර පැවැත් වූ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ පොල්කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණය කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට අමෙරිකාවේ එකඟතාව හිමිව තිබේ.

එමෙන්ම කාලගුණ විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයට සිදුවන අභියෝග ඵලදායී ආකාරයෙන් කලමනාකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ද චූලි චන්ග් මහත්මිය සිය කැමැත්ත පළකර ඇත.

තවද දේශීය ගොවියාගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා අවශ්‍ය අමෙරිකානු සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මීට අමතරව මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වී ඇත.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග  අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. විකුමසිංහ මහතා, අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ශිරෝමනී එදිරිමාන්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.