මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසට වෙඩි
December 18, 2024 09:38 am
හෝමාගම පනාගොඩ පැලෑදගොඩ රණවිරුගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව පැවසෙන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.
මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම උණ්ඩ කොපු දෙකක් සහ ජීව උණ්ඩයක් අදාළ නිවස ඉදිරිපිට මාර්ගයේ වැටී තිබියදී හමු වූ බවද පොලීසිය පවසයි.
විදෙස්ගතව සිටින තවත් ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කරන බවත් අදාළ නිවෙසෙහි හිමිකරු විසින් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම මෙම වෙඩි තැබීමට හේතුව බවට සැක කරන බවද මීගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසේ බිත්තියකට සහ ජනේලයකට වෙඩි පහර දෙකක් වැදී ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර මීගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.