ජීවිත බිලිගත් මාරක අනතුරු
December 2, 2024 08:42 am
ප්රදේශ කිහිපයක දී ඊයේ (01) සිදුවූ යතුරු පැදි අනතුරු වලින් පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් තිබේ.
මෙම අනතුරු සිදුව ඇත්තේ සීදූව, පමුණුගම, ඇඹිලිපිටිය සහ කඩවත යන ප්රදේශවල බව පොලීසිය පවසයි.
ඊයේ පස්වරුවේ කොළඹ - මීගමුව මාර්ගයේ ලියනගේමුල්ල ප්රදේශයේදී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු, පසු පැදිකාරිය සහ කුඩා දරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ අවුරුදු 39 ක් වූ මුදුකටුව, මාරවිල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර, ඇලකන්ද - මීගමුව මාර්ගයේ තල්දියවත්ත ප්රදේශයේදී ඇලකන්ද දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කම්බි කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු, පසු පැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් තිබේ.
මරණකරු වයස අවුරුදු 26 ක් වූ සංඝමිත්තා මාවත, කොටහේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම, ඊයේ රාත්රියේ ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ හිඟුරආර ප්රදේශයේදී ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 36 ක් වූ නව නගරය, ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර, ඊයේ පෙරවරුවේ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ සුවත උයන විදුලි සංඥා කණුව අසලදී කඩවත දෙස සිට සුවත උයන දෙසට ධාවනය වූ කැබ් රථයක් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදියේ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකාරිය රාගම රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 34 හැවිරිදි ගෝනහේන, කඩවත ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.