බදුල්ල බිහිසුණු අනතුරේ තුවාලකරුවන්ගේ තත්ත්වය
November 4, 2024 06:52 pm
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව මණ්ඩපයේ සිසු සිසුවියන් සහ ආචාර්යවරු ඇතුළු කණ්ඩායමක් ගමන් කරමින් තිබූ බස්රථයක් අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.
බස් රථයේ රියදුරා අසාධ්‍ය තත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බැවින් මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහනකර ගැනීම නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළේය.
බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිඳ ට නුදුරු අඹගහඹය 4 කණුව ප්‍රදේශයේදී ඉකුත් 01 වනදා සිදුවු මෙම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 42ක් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබීය.
බසය පැදවූ රියදුරා ගාල්ල ඇල්විටිගල ජනපදයේ පදිංචි 41 හැවිරිදිසිවිල් පුද්ගලයෙක් බව විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
අනතුරට පත්වූ බස්රථය පිළිබඳව මේ දක්වා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වී නොමැති බවත් එම වාර්තාව ලැබීමෙන් පසු මෙම අනතුරට හේතුව කාර්මික දෝෂයක්ද නැතිනම් රියදුරාගේ අපරික්ෂාකාරි රිය පැදවීම දැයි නිගමනය කළ හැකි බවත් ඔහු පැවසීය.
කෙසේ නමුත් මෙම අනතුර සම්බන්ධයෙන් රියදුරාව අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අනතුරට ලක්වු තුවාලකරුවන් පිරිසගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකයේ පසුවන තුවාලකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ බදුල්ල රිදීපාන සිට එකදිගට කිලෝමීටර් 5ක් පමණ බැවුමකට ගමන් කරන නිසා ඒ පිළිබඳ ව සැලකිලිමත්ව අදාළ ගියරයට අනුව රිය ධාවනය කළ යුතු වුවත් ඇතැමුන් තුන-හතර යන ගියරවල වේගයෙන් ධාවනය කර එකවර තිරිංග තද කිරීමට උත්සාහ කිරීම නිසා මිටපෙරද එහි මෙවන් අනතුරු සිදුව ඇති බවද සඳහන් ය.
මේ අතර බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කර සිටි තුවාලකරුවන් 40 දෙනාගෙන් අද (4) වනවිට 13 දෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී ගොස් ඇති බවත් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 27 දෙනෙක් පමණක් බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
ඒ අතරින් 7 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු සඳහන් කළේය.