සර්වජන බලය හැරෙන්නට වෙනත් විකල්පයක් නැහැ - දිලිත්

සර්වජන බලය හැරෙන්නට වෙනත් විකල්පයක් නැහැ - දිලිත්

October 24, 2024   08:11 pm

විපක්ෂය තෝරාගැනීමේදී ජනතාවට සර්වජන බලය හැර වෙනත් විකල්පයක් නොමැති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සර්වජන බලයේ බියගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"සර්වජන බලය ඓතිහාසික නිර්මාණයක්. මම හිතන්නේ 1956න් පස්සේ මෙවැනි උත්සාහයක යෙදෙන පළවෙනි දේශපාලනික අවස්ථාව තමයි සර්වජන බලය. 

අපි කියන්නේ අපිට විපක්ෂයේ එඩිතර කාර්ය භාරය කරන්නට ජනතා සහයෝගය ලබා දෙන්න කියලා. ඉතිරි වී ඇති නෂ්ටාවශේෂ දේශබාලන බලවේග අතර අපේ මිතුරු සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂනායක කාර්ය භාරය අවසන් වී ඔහු විශ්‍රාමගත යුතු කාලය එලැඹ ඇත. ඒත් ඔහු විසින් විපක්ෂ නායකත්වය දරන කාලය තුළ තුන්වෙනි බලවේගයක් 3% ගත්ත පක්ෂයක් 43% දක්වා වර්ධනය වෙලා තියන්නේ ඔහුගේ විරුද්ධ පක්ෂය පාර්ලිමේන්තුවේ ඉන්න කාලය තුළ. ඒ නිසා මම හිතන්නේ නැහැ ජනතාවට විකල්පයක් තියනවා කියලා විරුද්ධ පක්ෂය තෝරා ගැනීමේදී සර්වජන බලය හැර."

මේ අතර හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් අද (24) සර්වජන බලය හා එක් විය.

එහිදී අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
 
"අනුර දිසානායක ජනාධිපතිවරයා මිනිස්සු හිතපු වෙනස දැනෙන්න කරනවා නම්..ඔහුට කළ යුතුව තිබුණේ හැමදාම ගෙනත් දාපු වාහන පෙන්වන එකවත් හැමදාම මොකක් හරි නඩුවක් අටවලා කවුරු හරි දෙන්නෙක් ඇතුළට දාන එකවත් නෙමෙයි." 

යහපාලන ආණ්ඩුවෙත් අනුර කුමාර මහත්තයා ඔය වැඩේමයි කළේ.

ඒක ප්‍රතික්ෂේප කරලා තමයි ජනතාව කිව්වේ අලුත් දෙයක් කරමු කියලා. දැන් පරණ වැඩේමනේ කරන්නේ."