උඩුමහළින් වැටුණු ගායකයා
සයුරෙන් එතෙර

උඩුමහළින් වැටුණු ගායකයා

October 17, 2024   11:53 am

වන් ඩිරෙක්ෂන් ගායක කණ්ඩායම කලක් ලොව තරුණ තරුණියන් අතර උන්මාදයක් ඇතිකිරීම සමත් විය.

පස් දෙනෙකුගෙන් යුතු මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් වූ ලියම් පෙයින් ඊයේ (16) රාත්‍රියේ හදිසියේ මියගොස් තිබේ.

31 හැවිරිදි පෙයින් මෙලෙස හදිසියේ මරුමුවට පත්වූයේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර ගොඩනැගිල්ලක තෙවැනි මහලෙන් ඇදවැටීමෙනි.

ඔහු ආර්ජන්ටිනාවට ගොස් තිබුණේ වන් ඩිරෙක්ෂන් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් වන නයිල් හෝරන්ගේ ප්‍රසංගයකට එක්වීම සඳහායි.

පෙයින් මියයාමට මොහොතකට පෙර මත්වූ තැනැත්තෙක් කලහකාරී ලෙස හැසිරෙන බවට වන තොරතුරක් ආර්ජන්ටිනා හදිසි අංශවලට ලැබී ඇති අතර, ඔවුන් එම ස්ථානයට ළඟාවීමට පෙර ඔහු ඇදවැටී මියගොස් තිබූ බව වාර්තා වේ.

අදාළ තැනැත්තා පෙයින් බවට පසුව පොලීසිය හඳුනාගෙන තිබුණි.

එක්ස් ෆැක්ටර් නම් රියැලටි තරගයෙන් ගායන දිවියට පිවිසි මෙම ගායක කණ්ඩායම හැරී ස්ටයිල්ස්, සෙයින් මලික්, ලියම් පෙයින්, ලුයිස් ටොම්ලින්සන් සහ හෝරාන් ලෙස සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය.

අද වනවිට එම කණ්ඩායම විසිර ගොස් ඇතත් ඔවුන් සතුව පැවති ජනප්‍රියත්වය මඳකින් හෝ අඩුවී නැත.

වන් ඩිරෙක්ෂන් සාමාජික ලියම් පෙයින් හදිසියේ මියයාමේ පුවත ඊයේ වාර්තා වූයේ වන් ඩිරෙක්ෂන් රසිකයින් කඳුලේ ගිල්වමිනි.