සර්වජන බලයේ කළුතර දිස්ත්‍රික් නායකයා ලෙස රොෂාන්ව පත්කෙරේ

සර්වජන බලයේ කළුතර දිස්ත්‍රික් නායකයා ලෙස රොෂාන්ව පත්කෙරේ

October 8, 2024   07:47 pm

සර්වජන බලයේ කළුතර දිස්ත්‍රික් නායක හා මතුගම ආසන සංවිධායක ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභාපති රොෂාන් රණසිංහ මහතාව අද (08) පත්කෙරුණි.

ඊට අදාළ පත්වීම් ලිපිය මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රදානය කළේය.

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේ, තම පක්ෂය දේශප්‍රේමි ජාතිකවාදී කඳවුර ශක්තිමත් කරන බවය.

මේ අතර ව්‍යවසායක උපාලි ජයසේකර මහතා සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙසත්, කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස ඒ.ආර්.දිනේන්ද්‍ර ජෝන් මහතාත් රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස ප්‍රභාත් ද අල්විස් මහතාත් අද (08) පත් කෙරුණි.

එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක ආසන රැසකට පත් කෙරුණු සංවිධායකවරුන්ට පත්වීම් ලිපිද මෙහිදී ප්‍රදානය කෙරුණි.

මෙහිදී අදහස් දැක්වු ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"අපි විශ්වාස කරන දේශප්‍රේමී ජාතිකවාදී දේශපාලනය ලංකාවේ කිසිදා තුරන් කළ නොහැකිය යන්න තවදුරටත් තහවුරු කරමින් අපි ජයග්‍රාහි ගමනක නියුක්ත වෙලා ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රට සතුටු දැයක් කිරීමටත් ඒ සඳහා වූ ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන සංකල්පය ඉදිරිපත් කරන්නට මේ සියල්ලටම අවශ්‍යකරන පසුබිම නිර්මාණය කරගන්නට වන්නේ අපේ මේ ජාතිකත්වය තහවුරු කරගැනීමෙන් පමණයි."

මව්බිම ජනතා පක්ෂයේ සභාපති, රොෂාන් රණසිංහ මහතා,

"මම පළමුවෙන්ම ස්තූතිය පුදකරනවා පක්ෂයේ නායකතුමා දිලිත් ජයවීර මැතිතුමාට සහ එම පක්ෂයට මා පිළිබඳව විශ්වාසය තැබීම පිළිබඳව. රටක සාර්ථකත්වය කියන්නේ විශ්වාසය. රටක් විදියට අපි අරාජික වීමට හේතුව වුයේ මේ විශ්වාසය අනෝන්‍යයන් අතර කැඩී බිඳියාමයි. අන්න ඒ විශ්වාසය ගොඩනගන මේ රටේ කඳවුර වන්නේ සර්වජන බලයයි."