හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කළා ද?

හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කළා ද?

October 7, 2024   06:49 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කිරීමක් සිදුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීමක් සම්බන්ධව නිකුත් වූ වාර්තාව තාක්ෂණික දෝෂයක් මත සිදුව ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සාවද්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (07) සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා,

"කිසිසේත්ම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ඉවත්කිරීමක් සිදුකරලා නැහැ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු අනෙකුත් හිටපු නිලධාරින් තවදුරටත් ඉන්වා. නමුත් මෑතක් වනතුරුම ජනාධිපති ආරක්ෂක අංශයෙන් තමයි වර්තමාන ජනාධිපතිවරයාටත්, හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයුවේ. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් තමයි ජනාධිපති ආරක්ෂක අංශය ඒ සඳහා වූ ඒ නිලධාරීන් කණ්ඩායම වෙන්කිරීමක් කරලා තියෙනවා. කිසිසේත්ම මෙතෙක් නිලධාරීන් ඉවත්කිරීමක් සිද්ධවෙලා නැහැ. මම කතා කළා එහි හිටපු අධ්‍යක්ෂවරයාට, තාක්ෂණිකව පණිවිඩය නිකුත් වුණාට නිලධාරීන් ඒ ස්ථානයේ තවදුටත් රාජකාරියේ ඉන්නවා නිලධාරීන් ඉවත්කිරීමක් සිද්ධවෙලා නැහැ."           

මේ අතර මැතිවරණ සමයේදී ආරක්ෂක රාජකාරී බහුල වීම හේතුවෙන් විමර්ශන අවසන් කිරීමට නොහැකි වූ පැමිණිලි දින 14ක් තුළ අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

"වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ දිනයේ විශේෂ නියෝගයක් නිකුත්කළා දැනට පොලිස් ස්ථානවල යම් ආකාරයක විභාග කරන්න බැරිවෙලා ඉතුරුවෙලා තිබෙන විවිධ පැමිණිලි අද දින සිට ඉදිරි සතිදෙක තුළ... දින 14ක් තුළ සම්පුර්ණයෙන් විමර්ශනය කරලා අවසන් කරන්න කියලා. ඒ අනුව අද දින සිට ඒ විවිධ පැමිණිලි විභාග කිරීම ආරම්භ කරනවා. අපි දන්නවා පසුගිය කාලසීමාව තුළ පොලිස්පතිවරයාගේ මහජන සහන දිනය පැවැත්වීම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඒ මහජන සහන දිනය ආරම්භ වෙනවා ඔක්තෝබර් 11 වනදා සිට. පවත්වන්නේ පෙර තිබූ පොලිස් මූලස්ථානයේ නෙමෙයි නව පොලිස් මූලස්ථානයේ."