ඉන්දීය විදේශ ඇමතිගේ කෘතිය සිංහල භාෂාවෙන් නිකුත් කරයි

ඉන්දීය විදේශ ඇමතිගේ කෘතිය සිංහල භාෂාවෙන් නිකුත් කරයි

October 4, 2024   03:29 pm

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ‘The India Way:Strategies for an Uncertain world’ කෘතිය 'ඉන්දීය මාවත: අවිනිශ්චිත ලෝකයක උපාය මාර්ග' මැයෙන් සිංහලට පරිවර්තනය කර තිබේ. 

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් එහි පළමු පිටපත මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාට අද (04) පිරිනමන ලදි.

එම අවස්ථාවට පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාර්ඩ් ගුණතිලක හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහත්වරු ද එක්වූහ.

2008 වසරේ ලෝක ආර්ථීක අර්බුදයේ සිට 2020 කොවිඩ් -19 වසංගතය දක්වා කාලය තුළ ලෝකයේ අනුපිළිවෙළ පරිවර්තනයකට පත් වූ බව සහ එහි අභියෝග මෙන්ම ඉන්දියාව යෝජනා කළ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සහිත විශ්ලේෂණයක් මෙම කෘතියෙන් අනාවරණ කරයි. 

අජිත් පැරකුම් ජයසිංහ සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මෙම කෘතිය පාත්ෆයින්ඩර් පදනමේ ප්‍රකාශනයකි.

ජාත්‍යන්තර දේශපාලනය ගැන ලියැවුණ පරිච්ඡේද අටකින් හා පිටු 225කින් සමන්විත ඉන්දීය මාවත කෘතියෙහි පිටපත් මහජන පුස්තකාල හෝ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර අධ්‍යයන අංශවලට නොමිලේ ලබාගත හැකි බව පාත්ෆයින්ඩර් පදනම දැනුම්දෙයි.