ඊශ්‍රායලයේ ඊළඟ සූදානම

ඊශ්‍රායලයේ ඊළඟ සූදානම

September 30, 2024   11:15 pm

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාර එල්ලකිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකාවට දැනුම් දී තිබේ.

අද (30) සිට එම ප්‍රහාර ඉක්මනින් දියත් කරන බව ඊශ්‍රායලය විසින් අමෙරිකානු නිලධාරියෙක්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ලෙබනනය වෙත ගොඩබිම් ප්‍රහාරයක අවදානම තීව්‍ර කරමින් ලෙබනන් - ඊශ්‍රායල දේශසීමාව වෙත ඊශ්‍රායලය විසින් යුද ටැංකි යොමුකර තිබු‍ණි.

මෙවන් පසුබිමක ජාතිය ඇමතූ හිස්බුල්ලා සංවිධානයේ උප නායක ෂෙයික් නයිම් කාසීම් අවධාරණය කළේ ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකට මුහුණදීමට තම සංවිධානය සූදානම් බවය.

මේ අතර ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ නායක සායිද් හසන් නස්රල්ලා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගියේ පසුගිය සති අන්තයේදී ය.

ඝාතනය කෙරුණු හිස්බුල්ලා නායකයාගේ සිරුර, ලෙබනන් සෞඛ්‍ය අංශ සුන්බුන් අතරින් ඊයේ (29)  සොයාගෙන තිබේ.

ඔහුගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදුකරන දිනය මෙතෙක් අනාවරණ කර නොමැත.

ඊශ්‍රායලය ලෙබනනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම තවමත් නවත්වා නොමැති අතර ඊයේත් එල්ල වූ ප්‍රහාරවලින් එරට 105 දෙනෙක් මරුමුවට පත්ව තිබුණි.

මියගිය පිරිස අතරට ලෙබනනයේ හමාස් ප්‍රධානියා ද අයත්ය.