විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය රට ලැබූ ජයග්‍රහණයක් බව ආර්ථික විශේෂඥයන් පවසයි

විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය රට ලැබූ ජයග්‍රහණයක් බව ආර්ථික විශේෂඥයන් පවසයි

September 20, 2024   08:19 pm

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය ප්‍රතිව්‍යුහගතකරණ සඳහා ගිවිසුම්වලට එළැඹීම පෙරළිකාර ජයග්‍රහණයක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව 2022 වසර මුල් භාගයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම වසරේ අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙරට ණය ආපසු ගෙවිය නොහැකි බව නිල වශයෙන් නිවේදනය කළේය. 

ඒ සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙළකට ඇතුළත් වූ අතර අමෙරිකානු ඩොලර් බිලියන 37ක පමණ විදෙස් ණය  ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි අවධානය යොමු විය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව යමින් පළමුව අවසන් කෙරුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි.

අනතුරුව ඉන්දියාව මෙන්ම ප්‍රංශය ඇතුළත් පැරිස් සමාජය සහ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා වෙන්වෙන් වශයෙන් පැවති අතර ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ පැවති සාකච්ඡා ඵලදායි අවසානයකට රැගෙන යමින් පැරිස් සමාජය සමඟ ජුලි මසදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකාව රටවල් 17කින් ලබාගත් ණය ආවරණය කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය මුදලක් එහිදී ප්‍රතිව්‍යුහගත කරනු ලැබීය. 

එම වැඩපිළිවෙළේ තීරණාත්මක අවසානයකට පැමිණෙමින් ශ්‍රී ලංකාව ඊයේ (19) ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එකඟතාවකට එළැඹ තිබේ.

මෙම එකඟතාවට අනුව 11%ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් ලබාදීම සඳහා බැඳුම්කර හිමියන් එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර, පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

චීන එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.4 ණය සහනයක් හිමිවන අතර, නිල ණය හිමියන්ගේ කමිටුවෙන් ඩොලර් බිලියන 2.9ක්, චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2.5ක් සහ බැඳුම්කර හිමියන් සමග ඩොලර් බිලියන 9.5ක ණය ප්‍රතිකර්ම ගිවිසුම්වලට එළැඹීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සේවාකරණ සහනයක් හිමිව තිබේ. 

මේ සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ සියලු අදියර සම්පූර්ණ කර අවසන් අතර නොබෝ දිනකින් ශ්‍රී ලංකාව බංකොලොත්බවින් මිදුණු රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම නිල ණය හිමියන්ගේ කමිටුවේ ලේකම් කාර්යාලය මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ලබාදුන් සහයෝගයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබේ.

ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනවල නියෝජිතයන් ඊයේ පස්වරුවේ හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය

මේ අතර මෙලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අවසන් කිරීම මෙරට ණය තිරසරභාවය සම්බන්ධයෙන් ලද පෙරළිකාර ජයග්‍රහණයක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ සභාපති මුර්ටාසා ජැෆර්ජි මහතා පවසන්නේ මෙය පෙරළිකාර ජයග්‍රහණයක් බවයි.

"අපි ඊයේ ළඟා කරගත්තේ මෙරට ණය තිරසරභාවය සම්බන්ධ පෙරළිකාර ජයග්‍රහණයක්, අපි දැන් මෙතැනින් ඉදිරියට යා යුතුයි. වඩාත් වැදගත් වන්නේ ආර්ථිකය වර්ධන මාවතකට අවතීර්ණ වීමයි.

මොකද මේ ක්‍රියාවලිය පමා කරනවා කියන්නේ සියලු පොලි අනුපාතික ඉහළ යනවා කියන එකයි, අපේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පොලි අනුපාතය 6.5%ත් - 7%ත් අතර පැවතුණත් නව පොලි අනුපාතය 3% පමණ දක්වා අඩුවෙනවා.

මෙලෙස එකඟතාවයට පැමිණිමෙන් පසු අපිට ඉදිරි කාලයේදී නැවතත් ණය පැහැරහැරීමක් සිදුකරන්න බැහැ" 

මේ අතර මෙම වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවට පැමිණි පසුබිමක කොටස් වෙළෙදපොළ සමස්ත මිල දර්ශකය අද ඒකක 81.94කින් ඉහළගොස් 10966.51ක් ලෙස සටහන් වූ අතර මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙස සටහන් විය. 

මෙහිදී විශේෂයෙන් බැංකු කොටස්වල වර්ධනයක් දක්නට ලැබුණු බවයි වාර්තා වී තිබේ.