අනුර VAT අයින් කරන්න සුදානම්

අනුර VAT අයින් කරන්න සුදානම්

September 16, 2024   08:12 pm

ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා එක්කර තිබෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත්කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ අකුරැස්සේ පැවැත් වූ ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

"ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍ය සඳහා ඇතුළු කරලා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා. විදුලි බිල ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ජීවත්වෙන්න අපහසුකම් තියෙන පවුල්ටික තෝරලා රුපියල් 10,000ක්, අමාරුම කෙනාට රුපියල් 17,500ක් දක්වා ගෙවන්න කටයුතු කරනවා. ඒගොල්ලෝ ආණ්ඩු හදන්නේ බෙදාගන්න, ජාතික ජන බලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න. තියෙන ඒවත් අත්හැරලා දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්ථනය කිරීම තමයි අපේක්ෂාව. එයාලා කියන්නේ අපි ආවොත් තෙල් නැතිවෙයි කියලා. රනිල් කියන්නේ අරාබියේ සුල්තාන්ද?, රනිල් ආවේ නැතිනම් ගෑස් නැතිවෙනවලු. ඒ කියන්නේ රනිල්ට කොහෙහරි ගෑස් ළිදක් හම්බවෙලාද. අපි ඔයගොල්ලන්ට සහතිකයක් දෙන්නම්, තෙල්, ගෑස්, විදුලිය කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ ජාතික ජන බලවේගය කරනවා".