ජනතාව ඉල්ලන වෙනස ඉටු කිරීමට සූදානම් - දිලිත් 

ජනතාව ඉල්ලන වෙනස ඉටු කිරීමට සූදානම් - දිලිත් 

September 16, 2024   11:56 am

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන ධාරාවේ සියලු අපේක්ෂකයන් ශ්‍රී ලාංකීය ජන සමාජය ඉල්ලන වෙනස නියෝජනය නොකරන බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. 

ඊයේ (15) "දෙරණ 360" සජීවි සංවාදයට සහභාගී වෙමින් ඔහු පැවසුවේ තමන් පුද්ගල කේන්ද්‍රීයව දේශපාලනය නොකරන අයෙකු බවයි.

"මෙවර ජනාධිපතිවරණයට අපි සියලුදෙනාම මුහුණ දෙන්නේ මනෝමූලිකව ශ්‍රී ලාංකේය ජන සමාජය ඉල්ලා සිටි වෙනසක් සඳහා නිර්මාණය වූ ජනාධිපතිවරණ පසුබිමක. ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සියලු අපේක්ෂකයින් මොනම විදිහකට බැලුවත් වෙනසක් නියෝජනය කරන්නේ නැහැ. මේ ඉල්ලන සියලුදෙනා ඉල්ලන්නේ තමන්ට බලය. ඒ බලයෙන් ප්‍රතිශතවලින් විනාශකාරී බලවේග තියනවා. ප්‍රතිශතය විතරයි වෙනස්වෙලා තියන්නේ. හැබැයි ඒ කිසිම දේශපාලන ප්‍රවේශයක නැහැ මේ රටේ ජනතාවගේ ජීවිතය වෙනස්වන ආකාරය ඔවුන්ට කියලා නැහැ, ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට වෛරයක් නිර්මාණය කරලා තියනවා. ඔවුන් දැනගන්නට ඕනේ ඔවුන්ගේ ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනස් වීම තුළ ලංකාවේ ත්‍රිවිල් ව්‍යවසායකයා ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ, ඔහුගේ ආදායම වැඩි වෙන්නේ, ඔහුගේ ජීවන මට්ටම වෙනස් වෙන්නේ, ඔහුට වඩා හොඳ සමාජ තත්ත්වයක් ලැබෙන්නේ... ඒක ඔහු දැනගන්නට අවශ්‍යයි. මේගොල්ලෝ කවුරුත් ඒක කියන්නේ නැහැ. ඒ නිසා දිලිත් ජයවීර කියන්නේ පුද්ගල කේන්ද්‍රීයව දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. සංකල්ප මත, අපිට දේශපාලනයෙන් අහිමිවී ගිය සහානුකම්පාව ඇති, මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න මෙතෙනට ආපු ඒ විශ්වාසය මතම කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා මේ සංකල්පය මත අපි ඉස්සරහට යන්නට හදන්න ඕනේ. ඒ සඳහා අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. මෙය සංවාදයට ලක් කිරීමට තවමත් කාලය තියෙනවා. කල්පනා කරන්න, කියවන්න, ප්‍රශ්න කරන්න, ඇයි කියලා හිතන්න, මොහොතක් හිතන්න. ඒ නිසා ඔබයි තරුව, මේ රටේ ජනතාවයි තරුව, ඔබ තරුව වෙන්නයි මේ තරුව දිනවන්නට ඕන."