හේතුවක් නැති අකුරණ ගින්න

හේතුවක් නැති අකුරණ ගින්න

July 5, 2024   12:56 pm

අකුරණ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර - මාතලේ මාර්ගය (A9) මේ වන විට යළි විවෘත කර ඇති බව පොලීසිය දැනුම් දී තිබේ.

එම ගින්න හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය අද (05) පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි.

ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිරයාම හේතුවෙන් මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසාදැමීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.

අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ ගින්න හටගෙන තිබුණේ අද උදෑසන 6.30ට පමණ ය.

ඒ සමගම අවන්හලේ සේවය කරමින් සිටි සේවකයින් පිටතට පැමිණි අතර ගින්න වේගයෙන් එම ගොඩනැගිල්ල පුරා ව්‍යාප්ත විය.

මේ අතරවාරයේ ප්‍රදේශවාසීන් කඩිනමින් මැදිහත්වී අවන්හල තුළ තිබූ ගෑස් සිලින්ඩර් 50ක් පමණ ඉන් පිටතට ගනු ලැබුවේ ඒවා පිපිරීමෙන් සිදුවිය හැකි මහා විනාශය වළක්වාගැනීම සඳහාය. 

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ කැඳවා තිබුණි.

දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10ට පමණ ගින්න මැඩපැවැත්වීමට ඔවුන්ට හැකිවිය.

කෙසේ වෙතත් ගිනිගත් අවන්හල අසල පිහිටි තීන්ත අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට සහ ජාත්‍යන්තර පාසලකට ගින්නෙන් හානිවිය. 

ගින්නෙන් පුද්ගල හානි වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැත.