මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය

මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය

July 4, 2024   10:06 am

ජනාධිපති ධුර කාලය වසර 05කට සීමාවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මැතිවරණ කොමිසමේ තීරණයට තමා සහාය දක්වන බවය.

ජනාධිපති ධුර කාලය පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණය අර්ථකථනයක දෙන තුරු මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා දිනයක් ප්‍රකාශයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා ව්‍යවසායකයකු වන චමින්ද්‍ර දයාන් ලේනව මහතා ශ්‍රෙෂ්ඨාධිකරණයට ඊයේ (03) පෙත්සමක් ගොනුකළේය.

පෙත්සම්කරු ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1), 82 (6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මඟින් සංශෝධනය කරන ලද 30 (2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඒ අනුව විපක්ෂයේ පාර්ශ්ව රැසකින් ඊයේ ජනාධිපතිවරායට චෝදනා එල්ල කෙරුණේ මෙය ජනපතිවරයාගේ ඡන්ද කල්දැමීමේ ප්‍රයත්නයක් ලෙස පෙන්වා දෙමිනි.

කෙසේවෙතත් අද නිවේදනයක් නිකුත් කළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබුණේ, ජනාධිපති ධුර කාලය වසර 05කට සීමාවන්නේය යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇති බවය.

එසේම 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මැතිවරණ කොමිෂන් සභාවේ තීරණයට තමන් සහාය පළ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනුකිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.