පොලීසියේ කිහිපදෙනෙක් ගැන විමර්ශනයක්

පොලීසියේ කිහිපදෙනෙක් ගැන විමර්ශනයක්

July 3, 2024   09:18 pm

රත්ගම විදුර නමැති පාතාල කල්ලි නායකයා ලවා සිය බැංකු ගිණුම්වලට මුදල් බැර කරගත් බව කියන දකුණු පළාතේ පොලිස් නිලධාරීන් පිරිසක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකාර පොලිස් නිලධාරීන් අතර, මෑතකදී රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාසයකට ස්ථාන මාරුවීමක් ලැබූ උසස් පොලිස් නිලධාරියෙකුද සිටින බව පැවසෙයි.

මේ වනවිට විදේශගතව සැඟව සිටින දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන පුබුදුමුණී විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ හෙවත් ‘රත්ගම විදුර’සමග දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමීප සබඳතා පවත්වන බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.

රත්ගම විදුර අදාළ උසස් පොලිස් නිලධාරියාගේ පෞද්ගලික බැංකු ගිණුමට විශාල වශයෙන් මුදල් බැරකර ඇති බවත්, තවත් පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුට ද  මුදල් ලබාදී ඇති බවත් පැවසෙයි.

ඒ අනුව මේ පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට උපදෙස් ලබාදී ඇති බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

අදාළ උසස් පොලිස් නිලධාරියා මේ වනවිට දකුණු පළාතේ සිට රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාසක් වෙත මාරුකර යවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්ගම විදුරගෙන් මුදල් ලබාගත් තවත් පොලිස් නිලධාරීන් සිටීද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකය.