සිසුවා සහ සිසුවියට සිදුවූ දේ  CCTV ඔස්සේ සොයයි

සිසුවා සහ සිසුවියට සිදුවූ දේ  CCTV ඔස්සේ සොයයි

July 3, 2024   08:20 pm

කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැක පළ කරන බවය.

මොවුන් දෙදෙනා කොළඹ 7 ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබුණි.

ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක් වෙත පැමිණ තිබුණි.

ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා, ඔවුන්ගේ පාසල් බෑග්ද එම මධ්‍යස්ථානය තුළ තබා නිවාස සංකීර්ණයේ 67 වැනි මහලට ගොස්  ඇත්තේ  පිටතින් ඇති තරප්පු පෙළ භාවිත කරමින්.

පසුව ඔවුන්ගේ සිරුරු හමුවුණේ මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදීය.

එම යන්ත්‍රවල ගැටීමෙන් ඔවුන්ගේ සිරුරුවලට බරපතළ තුවාල සිදුවී තිබුණි.

මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක්ද පැවති බවය.

ජීවිතක්ෂයට පත් සිසුන්ගේ මව්පියන්ගෙන් අද කොම්පඤ්ඤ වීදීය පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක අතර මෙම මරණ සියදිවි නසාගැනීමක්ද එසේත් නැත්නම් අනතුරක්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.