රාජ්‍ය සේවකයින්ට වැඩ පෙන්නූ නැට්ටුවෝ මාට්ටු

රාජ්‍ය සේවකයින්ට වැඩ පෙන්නූ නැට්ටුවෝ මාට්ටු

June 30, 2024   04:57 pm

උරුමය වැඩසටහනට සමගාමීව රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමට බණ්ඩාරගම, බමුණුමුල්ල සේවා පියසේ පැවැති ජංගම වැඩසටහන අවස්ථාවේදී ඉඩමක තනි අයිතිය ඉල්ලා එම ස්ථානයට කඩාවැදී නිලධාරීන්ට බැණවැදී පහරදීමට උත්සාහ කළ බව කියන පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

එම එක් පුද්ගලයෙකු කලායතනයක් පවත්වාගෙන යන නර්තන ශිල්පීයෙකි. අනෙක් පුද්ගලයා ඔහුගේ සමීපතම ගෝල නර්තන ශිල්පියා බව දැනගන්නට ලැබෙයි. 

ගෝල නර්තන ශිල්පියාගේ මිත්තණිය මීට වසරකට පමණ පෙර මියගොස් ඇති අතර ඇයට අයිතිව තිබූ ඉඩමක "පසු අයිතිය" සඳහා එම පුද්ගලයාව සහ ඔහුගේ වයස අවුරුදු 18 අඩු බාල සහෝදරයා ව නම්කර තිබූ බව වාර්තා විය.

මිත්තණිය මිය යාමෙන් අනතුරුව ඉඩමේ මුල් ඔප්පුව ගෝල නර්තන ශිල්පියාගේ මව භාරයේ තිබී ඇති අතර ඇය බාල පුතුට ඇති ආදරය හේතුවෙන් ගෝල නර්තන ශිල්පී පුතුට මුල් ඔප්පුව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.

එයට හේතු වී ඇත්තේ ඔහු මුළු ඉඩම ම ඔහුගේ නර්තන ආචාර්යවරයාට රුපියල් ලක්ෂ 20කට විකිණීම සඳහා සැලසුම් කර ඇති බවට ඇය වෙත දැනගැනීමට ලැබීමය.

උරුමය වැඩසටහන යටතේ රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන පසුගිය 27 වනදා අටුලුගම බමුණුමුල්ල සේවා පියසේ පැවැත්වුණි.

නර්තන ආචාර්යවරයා සමග ඔහුගේ ගෝලයා එම ස්ථානයට කඩාවැදී ඉඩමේ තනි අයිතිය තමන්ට ලබාදෙන ලෙස පවසමින් එහි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී පහරදීමටද තැත් කළ බව සංවර්ධන නිලධාරියකු පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

ඔවුන් දෙදෙනා එලෙස නිලධාරීන්ට තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද පොලීසිය වෙත පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබුණි.