ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

June 26, 2024   06:35 am

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද අලුයම 3.30 නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සඳහා වඩාත් සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනයේ දැක්වේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැ.කි.මී 65 - 75 දක්වා ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

සබරගමුව පළාතේත්, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.