මීගමුවේ සිට ලොවම රැවටූ ඔන්ලයින් ජාවාරම

මීගමුවේ සිට ලොවම රැවටූ ඔන්ලයින් ජාවාරම

June 25, 2024   08:01 pm

ලොව රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණි.

මෙහිදී විදේශිකයන්ද ඇතුළුව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 33කි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක දෙක දරන මූල්‍ය විමර්ශන අංශයට පසුගිය 13 වනදා කාන්තාවකගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණි.

එහි දැක්වුණේ නාඳුනන පුද්ගලයෙකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව  එක්කරගත් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සඳහා ලයික් හා කමෙන්ට් දැමීමෙන් මුදල් ඉපැයිය හැකි බවට එම සමූහය මගින් දැනුම්දුන් බවය.

එලෙස ලයික් සහ කමෙන්ට් කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී රුපියල් 750 බැගින් මුදල් ලැබුණු අතර, පසුව වැඩිදුරටත් මුදල් ඉපැයීමට අවශ්‍යනම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයකට එක්ව මුදල් ආයෝජනය කරන ලෙස අදාළ සමූහය මගින් කාන්තාවට දැනුම් දී තිබුණි.

ඒ අනුව මුදල් ආයෝජනය කළද, ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ සමූහයේ ඇඩ්මින්වරයා පවසා ඇත්තේ, එම මුදල් ලබාගැනීමට නම්  බැංකු ගිණුමක් වෙත මුදලක් බැර කරන ලෙසය.

ඒ අනුව අදාළ කාන්තාව රුපියල් ලක්ෂ 54ක මුදලක් අවස්ථා කිහිපයකදී එම බැංකු ගිණුම වෙත යොමුකර තිබුණි.

එහෙත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇත. 

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත, විමර්ශන ආරම්භ කෙරුණි.

මුදල් යොමුකළ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් අතර එම ගිණුම් හිමි පිය පුතු දෙදෙනා පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමන්ද අදාළ වංචාවට හසුව ඇති අතර ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙක ආරම්භ කළ බවය.

වැඩිදුර විමර්ශනයේදී අදාළ බැංකු ගිණුම් මගින් ඔන්ලයින් හරහා ලබාදී තිබූ පීසා ඇණවුමක් පිළිබඳ විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබූ අතර එම පීසා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකට ලබාදුන් බවට අනාවරණය කර ගැනුණි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් ඊයේ රාත්‍රියේ අදාළ නිවස වටලනු ලැබීය.

එහිදී මෙම ඔන්ලයින් ජාවාරම සිදුකරන කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළුව පුද්ගලයන් 14ක් අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් එහි තිබී ජාවාරම සිදුකිරීම සඳහා භාවිත කළ ජංගම දුරකතන 57ක්, පරිගණක යන්ත්‍ර 13ක් හා ලැප්ටොප් පරිගණක 3ක් සොයා ගත්තේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන, ඇල්ජීරියා, නේපාල් හා මැලේසියානු ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද වෙයි. 

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව විමර්ශන නිලධාරීන් මීගමුව පොරතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවසක් වටලා පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එහි තිබී ද ජංගම දුරකථන 52ක් හා පරිගණක යන්ත්‍ර 33ක් සිය භාරයට ගත්තේය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පකිස්තාන, ඉන්දීය, බංගලාදේශ හා ඉන්දුනීසියානුවන්ද වෙයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, විදේශීකයන්ද මෙම ජාවාරම සඳහා හසුකරගත් බවය.

එමෙන්ම මොවුන්ගේ ශාඛා ඩුබායි හා ඇෆ්ගන් රාජ්‍යයන්වලද පිහිටා ඇති බවත් අනාවරණ වී තිබේ.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙම ජාලයට සම්බන්ධ පුද්ගලයන් එක් එක් ශාඛාවන්ට ස්ථානමාරුවීම්ද ලබන අතර මෙය ශ්‍රී ලාංකිකයන් සයිබර් වහලුන් ලෙස යොදාගනිමින් මියන්මාරයේදී සිදුකරන ජාවාරමට සමාන එකක් බවය.