විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස

June 25, 2024   07:57 am

වසර 14ක් පුරා අමෙරිකානු රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ චෝදනාවට ලක්ව සිටි විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට නිදහස හිමිවී තිබේ.

ඒ අමෙරිකානු හමුදාවේ රහසිගත තොරතුරු අනාවරණ කිරීමේ චෝදනාවට යටත්ව වසර ගණනාවක් එල්ල වූ චෝදනා පිළිගැනීමට අසාන්ජ් එකඟවීමෙන් අනතුරුවයි.

මෙහිදී ඔහුට මාස 62ක කාලයක් සිරදඬුවම් නියම කිරීමට අමෙරිකාව එකඟ වී ඇති අතර එය ඔහු ලන්ඩන් නුවර විශේෂ ආරක්ෂාව සහිත බන්ධනාගාරයක රඳවා සිටි කාලයට සමාන කාලයක් වීම හේතුවෙන් ඔහු තවදුරටත් සිරදඬුවම් විඳීමේ අවශ්‍යතාවක් නොවන බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ සිදුකෙරෙන අමෙරිකානු යුද්ධයට අදාළ රහසිගත හමුදා ලේඛන ලක්ෂ 7ක් පමණ විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ පළමුව හෙළිදරව් කෙරුණේ 2010 වසරේදීය.

රාජ්‍යතාන්ත්‍රික කේබල් සංවාද පවා හෙළිදරව් කෙරුණු මෙම සිද්ධිය සැලකෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ බරපතළම ආරක්ෂක දත්ත සොරාගැනීම ලෙසය.

චෙල්සියා මැනින්ග් නම් හමුදා නිලධාරියකු මෙම තොරතුරු අනාවරණ කර තිබූ අතර ඔත්තු බැලීමේ චෝදනාව යටතේ අසාන්ජ්ට එරෙහිව චෝදනා ගොනුකෙරුණි.

ඔහුගේ නඩු විභාගයේ අවසන් අදියර උතුරු මරියානා දූපතේදී හෙට (26) අවසන් කිරීමට නියමිත අතර ඉන් පසුව ඔහු ඔස්ට්‍රේලියාව බලා ගමන් කරනු ඇත.