මිතුරු ආරවුල මරණයෙන් කෙළවර වෙයි
May 16, 2024 11:39 am
හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇති බවය.
පුද්ගලයකු විසින් අදාළ තරුණයාට පොලු පහරක් එල්ල කිරීම හේතුවෙන් අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එලෙස මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ හෝකන්දර, හොරහේන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහකයෙකි.
පහර දුන් පුද්ගලයාද අද (16) උදෑසන අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහර දුන් පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත වී සිට දින 10කට පෙර නිදහස් වී ආ පුද්ගලයෙකු බව අතුරුගිරිය පොලීසිය සඳහන් කළේය.
මොවුන් දෙදෙනා මිතුරන් වන අතර, දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි.
නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් (සොකො) ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කළේය.
ඝාතනය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලීසිය විසින් සිදුකරන අතර, සැකකරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.