ගම්මාන කිහිපයකට අසාමාන්‍ය විදුලි බිලක්

ගම්මාන කිහිපයකට අසාමාන්‍ය විදුලි බිලක්

May 10, 2024   01:34 pm

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව මේ මස විදුලි බිල නිසා විශාල ගැටලුවකට මුහුණ පා සිටී.

ඔවුන් පවසන්නේ විදුලි බිල සඳහා රුපියල් ලක්ෂ ගණනක් ගෙවීමට සිදුවී ඇති බවය.

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් හුරිගස්වැව, පලුගස්වැව, සියඹලාගස්වැව ආදී ගම්මානවලට විදුලි සේවා සැපයෙන්නේ කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය හරහාය.

සාමාන්‍ය පරිදි මාසික විදුලි බිල්පත හිමි වන මෙම ගම්වාසීන්ට මෙවර අසාමාන්‍ය විදුලි ගාස්තුවක් සහිත විදුලි බිල්පතක් ලැබී තිබේ.

ගම්වාසීන් පවසන්නේ 2020 වර්ෂයේ සිට මේ දක්වා සෑම මසකම තමන් නොවරදවා විදුලි ගාස්තු ගෙවූ බවය.

කුඹුරු ගොවිතැන් කරමින් ඉතා දුක් මහන්සියෙන් ජීවත්වන තමන්ට මෙලෙස විශාල මුදලක් එකවර ගෙවා දැමීමට හැකියාවක් නොමැති බව ඔවුන් පවසයි.

අප මේ සම්බන්ධයෙන් කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමක් සිදුකළ අතර ඔවුන් පැවසුවේ මෙම ගම්මාන තුනේ නිවාස 140,000ක් සිය කාර්යාලය හරහා විදුලිය ලබාගන්නා බැවින් ඒ සඳහා මනු කියවන්නන් 62 දෙනෙකු යොදවා සිටි බවය.

එම 62 දෙනාගෙන් එක් අයෙකු නිවාස 2000ක පමණ නිවැරදිව මාස පතා මනු නොකියවීම නිසා ජනතාවට මාස කිහිපයකම විදුලි බිල හිඟ මුදලක් ලෙස ගෙවීමට සිදුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සේවයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවත් කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

කෙසේවෙතත් එම හිඟ විදුලිබිල පොලී රහිතව ගෙවීම සඳහා ජනතාවට වසරක සහන කාලයක් ලබාදී ඇති අතර එම කාලය අවසන් වුවත් මුදල් ගෙවීමට නොහැකි නම් ජනතාවට තවත් සහන කාලයක් ලබාදීමට සූදනම් බවත් ඒම කාර්යාලය දැනුම් දුනි.