අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වූ අයුරු සොයයි

අර්බුද සමයේ ඉන්ධන අතුරුදන් වූ අයුරු සොයයි

May 10, 2024   07:11 am

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරීන් කැඳවා සිදුකළ ප්‍රශ්න කිරිමේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පැවසීය.

අර්බුද සමයේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ දත්ත ගබඩා තුළ පවතින දත්ත සිතා මතා විනාශ කර ඇති බවද මෙහිදී අනාවරණ වී ඇති බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය.

මෙරටට අවශ්‍ය ගල් අඟුරු තොග පතල්කරුවන්ගෙන් සෘජුවම ආනයනය කිරීමට ලංකා අඟුරු සමාගමේ අවදානය යොමුවී ඇති බවද නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා තවදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය කෙරෙන අර්තාපල්, ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු ‍සියලු තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් නිර්මාණය කිරීමට අදාළ පූර්ණ යෝජනාවලියක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා සභාපති පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වූ මිලට වඩා විශාල වශයෙන් වැඩි මිලකට මෙරට පාරිභෝගිකයාට විකිණීම සිදුවන බැවින් ඒ සඳහා මෙම විවෘත ඩිජිටල් වේදිකාව ප්‍රායෝගික විසඳුමක් වනු ඇති බව ඔහු පවසයි.

මෙම ක්‍රමය හරහා පාරිභෝගිකයාට තමා විසින් මිලදී ගනු ලබන ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ මිල ඇතුළු සියලු විස්තර දැනගැනීමේ හැකියාව ලැබෙන බව ද එම කාරක සභාව රැස්වු අවස්ථාවේ පාඨලි චම්පික රණවක මහතා සඳහන් කර තිබේ.