මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

මාර්ක් ඇන්ඩෘ සහ අනුර දිසානායක අතර හමුවක්

May 9, 2024   06:06 pm

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුවිය.

ඒ, අද (09) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිනී මැදවල මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්විය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය, සමගිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරන බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පිළිබඳවද අවධානය යොමු කර ඇත. 

මෙහිදී තම දේශපාලන සංස්කෘතිය, ආරම්භයේ සිටම ආචාරධර්ම පද්ධතියක් පදනම් වී ඇති බව අවධාරණය කළ ජාතික ජන බලවේගය එ.ජා. නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට තම පූර්ණ සහාය හිමි වන බව ප්‍රකාශ කර තිබේ.