විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

විදුලිබල පනත් කෙටුම්පත ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

May 9, 2024   03:43 pm

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (09) ආරම්භ විය.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.

පෙත්සම් විභාගය ආරම්භයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලිබල නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය කාර්යක්ෂම කොට පාරිභෝගිකයින්ට සහනදායි සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ දේශනවලින් පසුව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළහ. 

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පාර්ශ්ව 14 ක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.