දකුණේ පාතාලය තවත් ජීවිතයක් බිලිගනී 

දකුණේ පාතාලය තවත් ජීවිතයක් බිලිගනී 

May 9, 2024   02:59 pm

අහුංගල්ලේ ඊයේ (08) සිදුකළ වෙඩිතැබීමෙන් 54 හැවිරිදි කුරුඳු කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා දකුණේ සිදුකළ ඝාතන සහ අපරාධ කිහිපයක සැකකරුවෙක් ලෙස සැලකෙන 'බබා' නමැත්තාගේ පියා බවය.
 
දකුණේ පාතාල කල්ලි දෙකක් වන "කොස්ගොඩ සුජී" සහ "රත්ගම විදුර" පාර්ශ්ව අතර පවතින ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.
                
අහුංගල්ලේ, ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී 7.40ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තවත් පුද්ගලයෙක් සමග පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේය.

මෙහිදී ඝාතනය කර තිබුණේ කීර්තිසේන ආබෲ නමැත්තෙකි.
 
වෙඩි ප්‍රහාරයෙන් හිසට දරුණු තුවාල සිදුවූ කීර්තිසේන බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලීසිය පැවසුවේය.

දියවැඩියාව රෝගයෙන් පීඩාවිඳි මරණකරු ඊයේ දිනයේදී අසනීප තත්ත්වය උත්සන්නවී වමනය දමමින් සිටියදී වෙඩික්කරු ඔහුට නිවසින් පිටතට කැඳවා වෙඩිතැබීම සිදුකරන අයුරු CCTV වීඩියෝවක දැක්වෙයි.

කුරුඳු කම්කරුවකු වන ඔහුට කිසිදූ අපරාධමය චෝදනාවක් නොමැතිවූවත් මේ වනවිට ඩුබායි සැඟව සිටින ඔහුගේ පුත්‍රයා වන නදීෂ් කුමාර නොහොත් "අහුංගල්ලේ බබා" නමැත්තා  දකුණේ සිදුවූ ඝාතන කිහිපයකට චෝදනා එල්ල වූවෙක් බව පොලීසිය සඳහන් කළේය.

ඔහු රත්ගම විදුර පාර්ශ්වය නියෝජනය කරන අයෙක් වන අතර, ඒ අනුව මෙම ඝාතනය කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි.

වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පළායන අතරතුරදී බබා නැමැත්තාගේ ඥාතියෙකුගේ නිවසකට ද වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

පොලීසිය සඳහන් කළේ අදාළ නිවසේ පදිංචිකරුවෙකුටද අපරාධ චෝදනා එල්ලවී ඇති බවය.