මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

මෙරට කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

May 8, 2024   07:02 am

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ නවීටා කැපිටල් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝමස් යන මහත්වරුන් අත්සන් තබා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ අරමුණයි බවය.

ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදුකර ගොවී පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ද නියමිතය.

අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්‍යාපෘති හඳුනාගෙන තිබෙන්නේ දේශගුණික අවදානම් සංසදයහි සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළින් බව සඳහන්ය.

නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ අනුව කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වාදීම සඳහා සහායවීමට පෘතුගාල සමාගමක් ආයෝජකයකු ලෙස ඉදිරිපත්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම වැඩපිළිවල ආරම්භ කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 15,000ක් හා අක්කර 15,000ක් දැනටමත් හඳුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන් පවුල් 15ක් සහ අක්කර 15ක් මෙම නියමු ව්‍යාපෘතියට එක් කර ගැනීමට නියමිතය.