අදානි ගෙන් විදුලිය මිලදීගැනීමට වසර 20ක ගිවිසුමක්

අදානි ගෙන් විදුලිය මිලදීගැනීමට වසර 20ක ගිවිසුමක්

May 7, 2024   11:31 am

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අදාළ ටෙන්ඩරය අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත්කර තිබූ අතර ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් එම කැබිනට් යෝජනාව ගෙන ආ බව වාර්තා විය.

එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ස්ථාපනය සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට 2022 මාර්තු 07 වනදා කැබිනට් අනුමැතිය ලැබුණි.

එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් "සාකච්ඡා සම්මුති කමිටුවක්" පත්කළේය.

යෝජිත් ව්‍යාපෘතිය මගින් නිපදවන විදුලිය සඳහා මිල තීරණය කර ඇත්තේ එම කමිටුවේ නිර්දේශ මතය.