කටුනායක වීසා ගාස්තු කලබලයෙන් පසු නිලධාරීන් ඉවත් වෙයි

කටුනායක වීසා ගාස්තු කලබලයෙන් පසු නිලධාරීන් ඉවත් වෙයි

May 2, 2024   01:56 pm

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය තුළ එහි සේවය කළ සමාගමේ නිලධාරීන් එම සේවාව නවතා ඉවත් වී ඇති බව වාර්තා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් නිසා ඊයේ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

මෙම තත්ත්වය ඇතිවුයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමකය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ඔන්ලයින් වීසා පහසුකම අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි.

එමගින් සාක් රටවල සංචාරකයින් සඳහා දින 30ක විසා ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 20ක මුදලකුත් අනෙක් රටවල සඳහා ඩොලර් 50ක මුදලක් අයකරනු ලැබීය.

මෙම ආදායම සම්පූර්ණයෙන්ම මෙරටට හිමිවු අතර ඉතා කෙටි කාලයක් තුළ ON ARRIVAL VISA පහසුකම සංචාරකයින් වෙත ලබාදීමටද පහසුකම් සලසා තිබුණි.

එවන් පසුබිමක මීට දෙදිනකට පෙර රජය තීරණය කර තිබුණේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තෙවන පාර්ශ්වයකට ලබාදීමටය.

ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය නොකරනු ලැබු සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක්ද මෙම විදේශීය සමාගම හරහා වීසා ලබාදීමේදී අයකරනු ලබන බව වාර්තා වෙයි.

එහිදී සාක් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් අමෙරිකානු ඩොලර් 22ක මුදලක්ද වෙනත් රටවල සංචාරකයින්ගෙන් වීසා ගාස්තුවට අමතරව තවත් ඩොලර් 25ක මුදලක්ද  අය කෙරෙයි.

එමෙන්ම මින්පෙර මෙරටට පැමිණීමේදී වීසා ගාස්තුවෙන් නිදහස් කර තිබූ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් 7ක සංචාරකයින්ගෙන්ද මෙම සමාගම අමෙරිකානු ඩොලර් 22ක මුදලක් අයකරනු ලබන බවද වාර්තා විය.

මෙවන් පසුබිමක, අදාළ සමාගම මගින් වීසා නිකුත් කිරීම පමාවීම හේතුවෙන් ඊයේ  සංචාරකයින් විශාල පිරිසකට පෝළිම්වල පැය ගණනක් රැඳීසිටීමට සිදුවී තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති කේ.කේ.ජී.ජේ. බණ්ඩාර මහතා පැවසුවේ මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකිව අදාළ සමාගමේ නිලධාරීන් ඊයේ පස්වරුවේ එම ස්ථානයෙන් ඉවත්වී ගොස් ඇති බවය.